Wednesday, August 25, 2010

කාලි අම්මාන් සත්ත්ව ඝාතනයට එරෙහි වීමේ බෞද්ධකම?


කාලි අම්මාන් සත්ත්ව ඝාතනයට එරෙහි වීමේ බෞද්ධකම?

beyondframe | August 25, 2010 at 7:08 am | Categories: Uncategorized | URL: http://wp.me/plxhT-1ox
මුන්නේස්වරම් කාලි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂිකව පවත්වන බිලි පූජාව නවත්වන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක යෙදුනු භික්ෂූන්වහන්සේලා පොලිසියේ මැදිහත්වීමෙන් නවත්වා තිබේ. ඒ ගැන අපි පොලීසියට ද ආණ්ඩුවට ද අපේ ස්තුතිය පුද කරමු. සිදුවෙන්නට ගිය මහා විනාශයක් පොලීසියේ මැදිහත්වීමෙන් නවත්වන්නට හැකි වූ අවස්ථාවක් ලෙස මෙය ඉතිහාස ගත වනු ඇත්තේ ය.
හින්දු ආගමේ ඉගැන්වීමක් බුද්ධාගමේ ඉගැන්විමකට අනුකූල නොවන නිසා මේ බිලි පූජාව නැවැත්වීමට කෙරුණු උද්ඝෝෂණය ජය ගත්තේ නම් ඇතිවිය හැකිව තිබුනේ අතිශය පිළිකුල් සහගත තත්වයකි. එක් ආගමක් අභිබවා බලෙන් තව ආගමක් සිය බලපරාක්‍රමය පෑමේ අනතුරකි. එය ඉදිරියේ අනවශ්‍ය අරගල කාරී තත්වයකට මග පෑදෙන ලකුණු පහල කර තිබිනි. එය බිලිපූජාව විසින් ඇති කරනු ලැබේ යැයි හාමුදුරුවන් සිතූ තත්වයට ද වඩා භයානක එකකි.
අප රටේ සතුන් මැරීම නීතියෙන් තහනම් නැත. මස් විකිණීම පවා තහනම් පෝදාට පමණකි. එහෙව් නීතිමය පසුබිමක මෙවැනි අත පෙවීමකට ඉඩක් ඇත්තේ කොහි ද? නීතියකින් එවැනි බාධාවක් තිබුන ද එය ක්‍රියාත්මක කිරීම තමන් අතට ගැනීමට හාමුදුරුවන්ට බලයක් ලැබුනේ කොහින් ද?
හාමුදුරුවන් ‍විසින් ගෙන ඇත්තේ මර්වින් සිල්වා ලබා දුන් ආදර්ශය ද? මර්වින් සිල්වා නැවත ඇමති තනතුරට පත් කිරිමට හාමුදුරුවන්ම මුල්ව සම්මන්ත්‍රණයක් පැවැත්වීමෙන් ඉගි කරන්නේ මේ අශුද්ධ සන්ධානයේ හැඩ රුව ද?
පොලීසිය මේ මැදිහත්වීම මැඩ පැවැත්වීමෙන් කළේ යහපතක් වුව ද ඇත්තටම මෙවැනි ප්‍රකෝපකාරී කටයුත්තකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මේ හාමුදුරුවන් නීතියේ රැහැනට හසු කරගන්නටත් එය විසින් කටයුතු කරනු ඇත් ද?  එසේ කරන ලෙස ඉල්ලා සිටීමට මේ රටේ නීති ගරුක පුරවැසියන් හැටියට අපට අයිතියක් ඇත් ද?
දැන් නුදුරෙහි වාඩි ලා ගෙන ඉන්නන් කොයි මොහොතක හෝ නැවතත් පණ ලබා නැගිටිනු ඇත් ද?
මේ ඉදිරියට ඇදෙන්නේ යුදවාදී පසුබිමක ඉපිද එහි ජයග්‍රහණයේ ආශ්වාදයේ පොහොරෙන් වැඩී ශිෂ්ඨ සමාජය ගිල ගැනීමට මාන බලන කැලෑ සංස්කෘතියක පැතිරීම ද? නැතිනම් මෙතරම් කාලයක් තිබුනු චාරිත්‍රයක් හදිසියේ ප්‍රකෝපකාරී මැදිහත්වීමකට කාරණයක් වූයේ කෙසේ ද?
ප්‍රශ්න ඇසුවහම ඇති ය. උත්තර ඔබ සතු ය.

Add a comment to this post


No comments:

Post a Comment

Secular Sri Lanka Post News Headlines

Secular News Daily