Sunday, March 27, 2011

"එක ආගමකට කියා විශේෂයෙන් සලකන්නේ නැහැ"

"එක ආගමකට කියා විශේෂයෙන් සලකන්නේ නැහැ"
අගමැතිගේ ප්‍රකාශයට ඕමල්පේ හිමිගේ විරෝධය

ලසිත දුමින්ද

සියලු ආගම් සමාන බවත් එක ආගමකට විශේෂ සැලකිල්ලක්‌ කරන්නේ නැති බවත් අගමැති හා බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති දි. මු. ජයරත්න මහතා කළ ප්‍රකාශයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කරන බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශක කළේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්‌ථානයේදී ඉකුත් 18 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී තවදුරටත් කතා කළ ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ ද පැවැසූහ.

කිසිදු ආගමකට එක සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැතැයි කීම එතුමා දරණ නිලයටත් පටහැනියි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ නවවැනි වගන්තියේ පැහැදිලිව දක්‌වා තිබෙනවා බුදුදහම සුරක්‌ෂිත කළ යුතුයි කියලා. අගමැතිවරයා එය නොදැන එසේ ප්‍රකාශ කළාද කියා අප දන්නේ නැහැ. එතුමා කන්ද උඩරට සිංහල බෞද්ධ බහුතරයකගේ ඡන්දවලින් බලයට පැමිණි ඇමැතිවරයෙක්‌. එතුමාගේ පසුබිමට සහ ව්‍යවස්‌ථාවට පටහැනිව කළ ප්‍රකාශයට අප විමතිය පළ කරනවා.

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය රාජ්‍ය අනුග්‍රහයෙන් සමරන මෙවන් අවස්‌ථාවක බොදු පුනරුදයක්‌ ඇති වෙමින් තිබෙනවා. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නේ බුදුපියානන් වහන්සේ අනුස්‌මරණය කරමින් මිස අනෙකුත් ආගම් අනුස්‌මරණය කිරීමට නොවේ. අපි ආගම් බේදයක්‌ ඇති කරන්න උත්සාහ කරන්නේ නැහැ. ව්‍යවස්‌ථාවට අනුකූල නොවන ප්‍රකාශ සම්බන්ධවයි අප කතා කරන්නේ.

ඉතාලියේ කතෝලික හා අරාබියේ ඉස්‌ලාම් දර්ශන කතා කරනවා වගේම අප රටේත් බෞද්ධ දර්ශනය කතා කළ යුතුයි. බුදුදහම පිළිබඳ අද ලෝකයේ අවධානය යොමුව තිබෙනවා. සියලු ගැටලුවලට විසඳුම් තිබෙන්නේ බුදුදහම තුළ පමණයි. රටේ බුදුදහම අහිමිවීම අපේ සංස්‌කෘතික දර්ශනය අහිමි වීමක්‌.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල බෞද්ධ භීතිකාවක්‌ තිබෙන බව රායප්පු ජෝශප් පියතුමා ප්‍රකාශ කරනවා. සියයට අනූවක්‌ සිංහල බෞද්ධ ප්‍රදේශවල දිනෙන් දින කෝවිල් පල්ලි ඉදිවෙනවා. අපි කියලා තියෙනවද දෙමළ භීතිකාවක්‌ තිබෙනවා කියා.

රට නොමඟ යවන ආකාරයෙන් අගමැතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමාගේ පැහැදිලි පිළිතුරක්‌ අවශ්‍යයි.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හැඩිගල්ලේ විමලසාර හිමි.

2600 සම්බුද්ධත්ව ජයන්තියට අප කළේ මොනවාද කියලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක්‌ කරලා තිබුණා. එතුමා "සසුනට අරුණ" කියලා නමක්‌ දාගෙන පන්සල්වලට රුපියල් 50,000 බැගින් දෙනවා. එයින් "සසුනට අරුණ" ඇති වෙන්නේ නැහැ. රටේ පන්සල් විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. ඒ පන්සල්වලට සල්ලි දෙන්න තරම් විශාල මුදලක්‌ එතුමාට ලැබුණේ කොහොමද?

ජාතික හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද එම අවස්‌ථාවට එක්‌ව සිටියේය. 

No comments:

Post a Comment

Secular Sri Lanka Post News Headlines

Secular News Daily